ඉතිරි කිරීමෙන් සැනසීම ලැබේ

ඉතිරි කිරීමෙන් සැනසීම ලැබේ

අපි ගොඩක් දෙනෙක් මුදල් ඉතිරි කරන්නට කැමැත්තක් දැක්වුවත් “අනේ.. මාසෙට ලැබෙන පඩියත් ජීවත් වෙන්න මදි එකේ මොන ඉතිරි කිරීමක්ද?” කියලා අහනවා.. ඒ කථාවේ ඇත්තක් තිබුනත් ඒක සම්පුර්ණම ඇත්ත නෙමෙයි.. මේ ලිපිය අවසානය දක්වාම කියවන්න එතකොට ඒ ඇයි කියලා ඔබට අවබෝධ වෙයි.

සාර්ථක මිනිසෙක් යනු ඉතිරිකිරීම් ඉහල පුද්ගලයෙක් කියලා ඔබ අසා ඇති.. කොතරම් යාන වාහන තිබුනත් කොතරම් සාමාජ තත්ත්වයක් තිබුනත් අන්තිමේ හදිස්සියකදී තමන්ට ඉතුරු වෙන්නේ තමන් ඉතුරු කල දේ විතරයි.. ජීවිතේ විවිධ අවස්ථාවන් හිදී යෙදෙන හදිස්සි මුදල් අවශ්‍යතා වලදි ණයක් ගන්නවට තමන්ගේ දෙයක් විකුණලා සල්ලි ගන්නවාට වඩා ඉතුරු කිරීම් තිබේනම් ඒවා පාවිච්චි කිරීම ගොඩක් වටිනවා..

හිතන්න ඔබට හදිස්සියේ ඔබ කැමති දෙයක් ගන්න ආසා හිතෙනවා.. ඒතකොට අපි දුක් වෙනවා අනේ කීයක් හරි ඉතුරු කරලා තිබුනා නම් කාගෙන්වත් ණයට ඉල්ලන්නේ නැතිව නිදහසේ ඒ දේ ගන්න පුලුවන් නේ කියලා.. ඒ ව‍ගේම හදිස්සියේ අසනීප වෙනවා ඒකට සල්ලි ටිකක් ‍ඕනි උනාම හදිස්සියේ තමන් ලග ඉතිරි කිරීමක් තිබුනා නම් කාටවත් පිංසෙන්ඩු වෙන්නේ නැතිව ඒක ගන්න පුලුවන්.. වාහනයක් ගන්න, නිවසේ කොටසක් හදන්න වගේ දේකට උනත් ලොකු ණයක් වෙන්න ඕනි නෑ ලොකු පොලියකට, තමන් ලග ඉතුරුම් තියේ නම්..

ඉතිං මේ නිසා අපි බලපු කොහොමද ලැබෙන සොච්චම් වැටුපෙන්, කීයක් හරි ඉතිරි කරන්නේ..

මුලින්ම අපි අවංකවම ඉතුරු කරන්න ඕනි කියලා අදහස තදින් හිතට ගන්න ඕනි. ඉතිරි කිරීමෙන් ලැබෙන මහත් ප්‍රයෝජන ගැන හිතුවොත් ඒ අදහස තදින් හිතට ගන්න එච්චර අමාරුනෑ. ඊලගට ඉතිරි කිරීම සදහාම වෙනමම ගිණුමක් ආරම්භ කරන්න ඕනි. ඒ සදහා සාමාන්‍ය ඉතිරි කිරීම් වලට හොද පොලියක් දෙන බැංකුවක් තෝරාගන්න ඕනි. අඩුම ගානේ 7% ක් හෝ ඊට වඩා පොලියක් දෙන විශ්වාදායි බැංකුවක් තෝරා ගන්න.. හැබැයි ඒ ඉතිරි කිරීමේ ගිණුමට ATM කාඩ් එකක් කිසිම හේතුවක් මත ලබා ගන්න එපා. මොකද එහෙම උනොත් ATM කාඩ් එකෙන් ඉක්මනින් සල්ලි ගන්න පුලුවන් නිසා ඒ ගිණුමේ ඉතිරියක් වෙන්නේ නෑ. දැන් ඔබ පඩියක් ගන්න කෙනෙක් නම් මාසිකව රු.500.00 ක් හෝ හැකිනම් ඊට වඩා පඩියෙන් කැපිලා යන විදියට ඒ ගිණුමට සල්ලි යවන්න සකස් කර ගන්න. ඒ කැපිල යන ගාන නිසා මාසික වියදමට බලපෑමක් ඇති නොවන්න සකස් කර ගන්න. ඒත් ඔබට ඒ කැපිලා බැංකුවට යන ගාන ගැන ලෝභ හි‍තුනොත් හිතන්න ඒ සල්ලි නැති උනා නම් ඒත් මාසේ කොහොම හරි ගැටගහගන්නවානේ කියලා. මාස 4-5 ක් එහෙම පඩියෙන් මුදල් කැපිලා යන්න පුරුදු උනාම මාසේ වියදමට ඒ ගාන නැති උන එක ගානක් නැතිව යනවා.

ඒවගේම පුරුදු වෙන්න අමතර ගානක් අතට ලැබුන හැම මොහොතකදීම එයින් ‍‍කොටසක් හො සම්පුර්ණයෙන්ම හරි ඒ ඉතිරි කිරීමේ ගිණුමේ තැම්පත් කරන්න. ඒ වගේම මාස 6 ක් ගියාම පඩියෙන් කැපිලා යන ගාන තවත් රු. 100-200 කින් වැඩි කරන්න. දැනටමත් කැපිලා යන ගානට අපි පුරුදු වෙලා නිසා තව රු100-200 කැපිලා ගියා කියලා දැනෙන්නේ නෑ.

අපි මෙතෙක් කථා කලේ අවම රු 25,000 ක වත් මාසික පඩියක් ගන්න කෙනෙකුට ඉතිරි කරන්න පුලුවන් ක්‍රමයක් පිළිබද අදහසක්.. ඔබට ඊට වඩා පඩියක් ලැබෙනවා නම් ඊට සාපේක්ෂව ඉතිරි කරන මුදල වැඩි කර ඉතිරි කරන්න..එවිට ඔබගේ නිවාස, වාහන හො වෙනත් මිලදී ගැනීම් පිළිබද සිහින වලට යාමට පාලම් ඉබේම තැනෙනු ඇත. එපමණක් නොව ඔබට හිතට ආර්ථික වශයෙන් ශක්තියක් සැනසීමක්ද නිරන්තරයෙන් දැනෙනු ඇත.

ඔබට මේ පිළිබද තවදුරටත් සහයක් අවශ්‍ය නම් මෙතැනින් ඔබගේ ගැටඵව අප වෙත ලියන්න

Call Now